Gamini Fonseka 88th Birthday Memories of Biography

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • එතැන් පටන් ගෙවුණු මාස කිහිපය තිස්සේ වරින් වර ගාමිණීගේ ජාඇල නිවසේදී හමුව අපි පොත පිලිබඳව හා ගාමිණී පිලිබඳව 'ඉතා' අඩුවෙන්ද ලෝක ඉතිහාසය, ඊජිප්තු සංස්කෘතිය, රෝම අධිරාජ්‍යය, ජෝන්.එෆ්.කෙනඩි, මැරිලින් මොන්රෝ, හිට්ලර්, රස්පුටින් මෙන්ම ස්වාමි විවේකානන්ද, ක්‍රිෂ්ණමූර්ති තුමා, දීපක් චොප්රා ආදීන් පිලිබඳව 'වැඩි වශයෙන්ද' සංවාදයේ යෙදුණෙමු, වාද විවාද කළෙමු.
    ලෝක විෂයය පිලිබඳව, අධ්‍යාත්මික කරුණු පිලිබඳව ඉතා ගැඹුරෙන් සංවාද කල අපි, දේශපාලනඥයන්ගේ අඥ කම් ගැන, ඇතැම් කලා ශිල්පීන්ගේ "අද්භූත පුරුදු" Idiosyncrasies ආදිය ගැන හඬනගා සිනාසුණෙමු.
    2003 වසර පුරාම වරින් වර ගාමිණී ගේ "බලහත්කාර" ආගන්තුක සත්කාරය විඳින්නට සිදුවූ බවද දැන් සිහිකරන්නේ ඒ සොඳුරු මිනිසාගේ අතිශය ම්ත්‍රශීලී ගුණයට මහඟු උපහාරයක් ලෙසය.
    මගේ වැඩ රාජකාරි මැද්දේම ගාමිණීගෙන් ලැබෙන 'හදිසි' දුරකතන පණිවුඩය අනුව මම බොහෝවිට ඔහුගේ නිවසට යන්නේ පැයකින් හෝ දෙකකින් ආපසු එන බලාපොරොත්තුව මතයි.
    ඒ යන අවස්ථා වල විදේශගත මිතුරකු විසින් එවන ලද අලුත්ම පොතක් හෝ චිත්‍රපටයක් ඔහු අත වෙයි. ඉතින් අපි ඔහුගේ චරිතාපදානය ලිවීම පසෙක තබා රොබින් ශර්මාගේ “The Monk Who Sold His Ferrari” හෝ දීපක් චොප්රාගේ Synchro Destiny "සන්නිපතිත ඉරණම" ගැන දිගින් දිගටම සසංවාදයේ යෙදෙමු. අපට නොදැනුවත්ව දිවා අහාරයට කල එළඹ ඇත.
    ඔහුගේ සේවකයන් දිනපතාම අමුත්තන් ඇතත් නැතත් දස දෙනෙකුට ප්‍රමාණවත් තරම් දිවා ආහාර මේසය සකසන හෙයින් ඔහු සමග දිවා ආහාරයට වාඩිවන ලෙස මට "බල" කෙරෙයි.
    ආහාර ගත් විගසම සමුගෙනයාම සංස්කෘතික නොවන නිසා අප නැවතත් ආලින්දයේ සනීප පුටුවල ඇලවී මයික් විල්සන් 'ස්වාමි ශිව කල්කි' ලෙස කතරගම මහවණය මැද වසර ගනණක් උඝ්‍ර භාවනාවේ යෙදුණු අයුරු සහ ඔහු සතුවූ ‘පරචිත්ත විජාණන ශක්තිය’ ගැන කතා බහක යෙදෙමු.
    ඒ අතරතුර ඔහු හදිසියේම 70 දශකයේ "එදත් සූරයා අදත් සූරයා" මෙන් මුවට දෑඟිලි රුවා විසිල් හඬක් නංවයි. ඒ ඒ විසිල් හඬට අදාල සංඥා හොඳින් දන්නා 'රාජු' සුලු මොහොතකින් විවිධ වර්ගයේ අගනා මධු විතෙන් සපිරුණු ට්‍රොලියද සමග අප සමීපයෙන් මතුවෙයි.
    පිටසක්වළ ජීවීන් හා වරින් වර ඔවුන්ගේ ග්‍රහණයට අසුවූවන්ගේ අත්දැකීම් ගැන කතාකරන අතරතුර රාජු නැවත පැමිණ "රේ කේම ලේස්ති" බව පැවසූ විටය අපට අවබෝධ වන්නේ රාත්‍රියද එළඹ ඇතිබව. රාත්‍රී ආහාරය ගත් විගසම වාහනය එළවීම සුදුසු නොවන බවට ගාමිණී තදින් ඇදහූ හෙයින් අපි නැවතත් "කෝපි බොන්නට" ආලින්දයේ වාඩිවෙමු.
    ඒ අතරතුර ඔහුට හදිසියේම ප්‍රංශයේ සිටින මිතුරෙකු එවූ හොඳවැයින් 'වයින්' බෝතලයක් ගැන සිහිව එහි රස බලන්නට සිත්වේ. අපේ කතාව වයින් හරහා ප්‍රංශයට ගොස් නැපෝලියන් ද, ද සාද් ඈපාණන්ද, මාරි ඇන්ටනට් බිසවද ඇසුරු කරයි. ලුවී රජ පවුල ගිලටිනයට හිස් දන් දෙනවිට මධ්‍යම රාත්‍රියද පසුව ඇතිබව අපට වැටහෙයි.
    පෙරදින උදෑසන පැය දෙකකින් ආපසු එන්නට සිතා ජා ඇල ගිය මම මධ්‍යම රාත්‍රියද පසුවී තනිවම මෝටර් පදවාගෙන කොළඹ එමි. ඔහුගේ චරිතාපදානය ලියන අතරතුර මෙසේ මා ගාමිණීගේ බලහත්කාර ආගන්තුක සත්කාරයට ලක්වූයේ වරක දෙවරක නොවේ. එවක සෞඛ්‍ය අමාත්‍යංශයේ ජෙ‍ය්ශ්ඨ සහකාර ලේකම් ධුරය දැරූ රන්ජිත් සිල්වා මහතාත් මමත් රාජකාරි අතරතුරම ගාමිණී හමුවීමට ගිය දිනද, මගේ බිරිඳ සහ දියණිය සමගද යනාදී වශයෙන් බොහෝවිට ඔහු බැහැදකීමට ගියවිට අපට ආපසු එන්නට ලැබුණේ ඔහු සමග රාත්‍රී භෝජන සංග්‍රහයද අත්විඳි පසුවය.
    එසේ සමුගෙන එන සෑමවිටකම ගාමිණීටම ආවේණික ඔහුගේ සමීපතමයනට පමණක් ලැබෙන අති දුර්ලභ "නැවත හමුවෙමු" සුවිශේෂ ආරාධනාව, එනම් ගෙමිදුල පිච්ච ගසේ අතුපාත්කර මල් කිහිපයක් නෙලා දෝතින්ම අමුත්තා අතට දීම, ලබන්නටද අපි භාග්‍යවන්ත වුණෙමු.
    මේ ආකාරයෙන් 2003 වසර නිමවන විට ගාමිණී සමග ඉතා සමීප මිත්‍ර සන්ථවයක් වර්ධනය වූයේ අප අතර වයස් පරතරයේ සීමා ඉක්මවමිණි. සැබවින්ම මා මෙලොව උපදින විටත් ඔහු සිංහල සිනමාවේ අංක එකේ 'අඝ්‍රගන්‍ය රංගන ශිල්පියා' බවට පත්ව සිටියේය. එහෙත් මා වයසින් බොහෝ බාලවුවද, ඔහුගේ ප්‍රවීණත්වයට සමාජමය තත්ත්වයට මා ගරුකරන තරමට ඔහු මගේ වෘත්තීමය තත්වයට, දැනුමට සහ ලේඛණ හැකියාවට මහත්සේ ගරුකලේය.
    මෙසේ මහත් ප්‍රසන්න හා හෘදයංගම හමුවීම් ගණනාවකට අනතුරුව මා අතින් අත් පිටපත ලියවුනු අතර තාරක ප්‍රකාශක අධිපති නාට්‍යවේදී රෝලන්ඩ් ප්‍රනාන්දු මහතාගේ අප්‍රතිහත ධෛර්‍යයේද ප්‍රතිඵලයක් ලෙස වසර 2004 එළඹෙන විට ඉතාමත් විශිෂ්ට නිමාවකින් යුක්තව "ගාමිණී - ශ්‍රී ලාංකේය සමාජ අභිමුව" පළමුවන මුද්‍රණය අවසන් කිරීමට හැකිවිය.
    ඉන් අනතුරුව ශ්‍රී ලංකා සිනමාවේ 'අධිරාජයාට' උචිත වන "රජ දැක්ම" ක් 2004 මාර්තු 22 වන දින, ගාමිණී සිය දිවියෙහි 66 වන උපන් දිනය සැමරූ දිනට පසුදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවත්වූවෙමු. එදින දිගු කලකට පසු ඔහුට තිරයේ පැරණි පෙම්වතියන් සියලුදෙනා මුණගැසිනි. ඔහු වෙත රෝස මල් පිලිගන්වා සුබ පැතූ සියලු පැරණි හා නූතන සිනමා ශිල්පීන් සමග ඔහු මහත් සතුටෙන් සම්භාශනයෙහි යෙදිනි.
    "සිංහල සිනමා සංරක්ෂක" තිස්ස නාගොඩවිතාන මහතාගේ ප්‍රධාන අනුග්‍රහකත්වයෙන් 1959 සිට දශකයෙන් දශකය ගාමිණී ගේ සිනමා රංගනය විකාශය වූ විලාසය විදහා දැක්වුණු ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක්ද සමග ඔහු ගේ සිනමා දිවියෙහි අතිශය ජනප්‍රිය වූ ගීත රාශියක් ප්‍රතිනිර්මාණය කර නූතන රංගන ශිල්පීන් විසින් වේදිකාව මත ඉදිරිපත් කෙරුණු එම ප්‍රසන්න වූද උත්කර්ශවත් වූද සන්ධ්‍යාවෙහි ඔහුගේ සිනමා දිවියට අදාල තවත් ග්‍රන්ථ දෙකක්ද එළිදැක්විණි.

ความคิดเห็น • 1

  • @buddhi132
    @buddhi132 7 หลายเดือนก่อน +1

    බෙහෙවින් අගය කළ යුතු පිලිසඳරක් !