අංගුත්තර නිකායේ තික නිපාතයෙහි ඇති නිරාස සුත්‍රය Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ค. 2023
  • පින්වත් මහණෙනි, ලෝකයෙහි සිටින්නා වූ මේ පුද්ගලයින් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? නිරාස නම් වූ පුද්ගලයා, ආසංස නම් වූ පුද්ගලයා, විගතාස නම් වූ පුද්ගලයා ය.
    පින්වත් මහණෙනි, නිරාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් පහත් කුලයක ඉපදිලා ඉන්නවා. ඒ කියන්නේ සැඩොල් කුලයේ වේවා, වැදි කුලයේ වේවා, කුළුපොතු කුලයේ වේවා, රථකාර කුලයේ වේවා, පුක්කුස කුලයේ වේවා උපදිනවා. ඔහු දුප්පත්. ආහාර පාන, භෝජන පවා දුකසේ තමයි ලැබෙන්නෙ. ඉතා දුක්සේමයි බඩගිනි නිවා ගන්නෙත්. ඒ වගේම ඔහු දුර්වර්ණයි. දැකීමට ප්‍රිය මනාප නෑ. මිටියි. බොහෝ ලෙඩ දුක් සහිතයි. එක්කෝ ඇස් පෙනීම දුර්වලයි. එක්කෝ අත් කොර වෙලා. නැත්නම් පා කොර වෙලා. නැත්නම් අත් පා කොර වෙලා. ඒ වගේම ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන, මල් සුවඳ විළවුන්, ඉන්න හිටින්න තැන්, පහන් ආලෝක ආදිය පවා ලැබෙන්නෙ නෑ. ඉතින් ඔහුට මේ විදිහට අසන්න ලැබෙනවා. ‘අසවල් ක්ෂත්‍රිය කෙනා ක්ෂත්‍රියයන් විසින්, අභිෂේකයෙන් ඔටුණු පළඳවා රජකමට පත් කළා’ කියලා. එහෙත් ඔහුට මෙවැනි සිතුවිලි ඇති වෙන්නේ නෑ. ‘අනේ, කවරදාක නම් ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රිය අභිෂේකයෙන් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත් කරගනීවිද!’ කියලා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයාට තමයි නිරාස පුද්ගලයා කියන්නෙ.
    පින්වත් මහණෙනි, ආසංස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහි අභිෂේකයෙන් ඔටුණු පැළඳූ ක්ෂත්‍රිය රජෙකුගේ වැඩිමහල් පුතෙක් ඉන්නවා. ඔහුව අභිෂේක කරන්න සුදුසුයි. ස්ථිරවම රජකම ලැබීමට සුදුසු බවට පැමිණ සිටින ඔහු තවම රජකමට පත් කරලා නෑ. ඉතින් ඔහුට මේ විදිහට අසන්න ලැබෙනවා. ‘අසවල් ක්ෂත්‍රිය කෙනා ක්ෂත්‍රියයන් විසින්, අභිෂේකයෙන් ඔටුණු පළඳවා රජකමට පත් කළා’ කියලා. එතකොට ඔහුට මෙවැනි සිතුවිලි ඇති වෙනවා. ‘අනේ, කවරදාක නම් ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රිය අභිෂේකයෙන් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත් කරගනීවිද!’ කියලා. පින්වත් මහණෙනි, මේ පුද්ගලයාට තමයි ආසංස පුද්ගලයා කියලා කියන්නෙ.
    පින්වත් මහණෙනි, විගතාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහි ඔටුණු පළඳවා අභිෂේක කරන ලද ක්ෂත්‍රිය රජෙක් ඉන්නවා. ඔහුටත් අසන්න ලැබෙනවා. ‘අසවල් ක්ෂත්‍රිය කෙනා ක්ෂත්‍රියයන් විසින්, අභිෂේකයෙන් ඔටුණු පළඳවා රජකමට පත් කළා’ කියලා. නමුත් ඔහුට මේ විදිහට හිතෙන්නෙ නෑ. ‘අනේ, කවරදාක නම් ක්ෂත්‍රියයන් විසින් ක්ෂත්‍රිය අභිෂේකයෙන් ඔටුණු පළඳවලා මාවත් රජකමට පත් කරගනීවිද!’ කියලා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, ඔහුට රජකමට පත්වීමට කලින් ඔටුණු පළඳවා ලබන අභිෂේකය ගැන යම් ආශාවක් තිබුනාද, එය සංසිඳිලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, මෙයාට තමයි විගතාස පුද්ගලයා කියන්නෙ. පින්වත් මහණෙනි, ලෝකයෙහි සිටින්නා වූ මේ පුද්ගලයින් තුන් දෙනා තමයි දකින්නට ලැබෙන්නේ.
    ඒවමේවං ඛෝ භික්ඛවේ, තයෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා භික්ඛූසු. කතමේ තයෝ? නිරාසෝ, ආසංසෝ, විගතාසෝ.
    අන්න ඒ වගේ ම තමයි පින්වත් මහණෙනි, භික්ෂූන් අතරත් සිටින්නා වූ පුද්ගලයන් තුන් දෙනෙක් දකින්නට ලැබෙනවා. ඒ තුන් දෙනා කවුද? නිරාස නම් වූ පුද්ගලයා, ආසංස නම් වූ පුද්ගලයා, විගතාස නම් වූ පුද්ගලයා.
    පින්වත් මහණෙනි, නිරාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දුස්සීලව ඉන්නවා. පවිටු ගතිවලින් යුක්තයි. අපිරිසිදුයි. සැක කටයුතු පැවැත්මක් තමයි තියෙන්නෙ. සඟවා කරන අකටයුතුවලින් යුක්තයි. මහණකමෙන් තොරයි. ශ්‍රමණයෙක් ලෙස පෙනී සිටිනවා. අබ්‍රහ්මචාරී කෙනෙක්. නමුත් බ්‍රහ්මචාරී කෙනෙක් හැටියට පෙනී සිටිනවා. ඇතුළ කුණු වූ කෙනෙක්. කෙලෙස් වැගිරෙනවා. කෙලෙස් කසල වලින් යුක්තයි. ඉතින්, ඔහුට අසන්න ලැබෙනවා, ‘අසවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරනවා’ කියලා. එහෙත් ඔහුට මේ විදිහට හිතෙන්නෙ නෑ. ‘අනේ! කවරදාක නම් මාත් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ ඒ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා. එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. පින්වත් මහණෙනි, මෙයාට තමයි නිරාස පුද්ගලයා කියල කියන්නේ.
    පින්වත් මහණෙනි, ආසංස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා සිල්වත් භික්ෂුවක් ඉන්නවා. යහපත් ගතිවලින් යුක්තයි. ඔහුට අසන්න ලැබෙනවා, ‘අසවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරනවා’ කියලා. එතකොට ඔහුට මේ විදිහට හිතෙනවා ‘අනේ! කවරදාක නම් මාත් ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ ඒ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. පින්වත් මහණෙනි, මෙයාට තමයි ආසංස පුද්ගලයා කියල කියන්නේ.
    පින්වත් මහණෙනි, විගතාස පුද්ගලයා යනු කවරෙක්ද? පින්වත් මහණෙනි, මෙහිලා ආශ්‍රව ක්ෂය කරපු, රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඔහුට මේ විදිහට අසන්න ලැබෙනවා, ‘අසවල් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කරලා, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම, තමන්ගේම විශේෂ ඤාණයෙන් සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරනවා’ කියලා. එතකොට ඔහුට මේ විදිහට හිතෙන්නෙ නෑ. ‘අනේ! කවරදාක නම් මාත් ආශ්‍රවයන් ක්ෂය කරලා, ....(පෙ).... සාක්ෂාත් කරලා, එයට පැමිණ වාසය කරන්නද!’ කියලා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, කෙලෙසුන්ගෙන් නිදහස් නොවී සිටි ඒ භික්ෂුව තුළ කෙලෙසුන්ගෙන් නිදහස් වී ලබන විමුක්තිය පිළිබඳව යම් ආශාවක් කලින් තිබුනා නම්, එය ඔහුට සංසිඳිලයි තියෙන්නෙ. පින්වත් මහණෙනි, මෙයාට තමයි විගතාස පුද්ගලයා කියල කියන්නේ. පින්වත් මහණෙනි, භික්ෂූන් අතරත් සිටින්නා වූ මේ පුද්ගලයන් තුන් දෙනා තමයි දකින්නට ලැබෙන්නේ.

ความคิดเห็น • 2

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺